Wednesday 22nd of April 2026

English Tamil
Advertiesment


මළවුන්ගේ ආදරය-මතකයේ චාරිත්‍රයක්


2026-03-02 14923

 
(සුජිත් මංගල ද සිල්වා)

 

"ඒ ඇය ද..? ඔව් ඒ ඇයම තමයි...ඇය මළවුන්ගෙන් නැගිට්ටා ද..? උට්ඨානය ලැබුවා ද,,? ඇය හරියටම මේ දිනය දැන ගන්නේ කෙසේද..? අවුරුද්දකට වරක් ඇය මා දිරියට එන්නේ ඇයි..? අහෝ...මම නොදනිමි.."

ඇය අමායා අතුකොරාළය. නුවරඑළිය, හාවා එළියේය. මම මහරගමය. අප එකිනෙකා හමු වන්නේ කොළඹ, නුගේගොඩ ප්‍රසිද්ධ Hostel Schoolහී ය. ඒ 2017 දි. මේ කාලයේ අය ගැන මට ආදරයක්-ලොබක් ඇති වුණි. එහෙත් මම ඒ ආදරය ප්‍රකාශ නොකෙළෙමි. 

2018 දෙසැම්බර් මාසයේ දී නුවරඑළියේ විනෝද සවාරියක් යන්න අපි සැලසුම් කළෙමු. ඒ 2019 ජනවාරි 15 වැනිදාය. එදින මගේ ආදරය මම ඇයට ප්‍රකාශ කිරීමට තීරණය කළෙමි. මටත් වඩා මේ ගැන උනන්දු වුණේ මගේ අතිජාත මිත්‍රයින්ය. එදින අප නුවරඑළියට එද්දි මළ හිරු බැස ගොස්ය. ඇය නුවරඑළියයේ නිසා අපි ඇයට ළඟපාත ළැඟුම් හලක් කල් ඇතිවම තෝරා ගත්තෙමු.  

පසුදා උදෙන්ම ග්‍රෙගරි උද්‍යානයට යන්න අපි තීරණය කළෙමු. ඒ රාත්‍රී සෝම පානයෙන් පසු අහාර ගනිද්දීය. අලුයම අපි පා ගමනින්ම ග්‍රෙගරි උද්‍යානයට ගියෙමු. හරිම සීතලයි-සනීපයි. ඒ එක්කම හිම කන්දක්-පුළුං රොදක් සේ මගේ මස්තකයට වැදුණු ඇය මගේ සීතල-රොමැන්ටික ආදරය-ලෝභය-ගින්න වැඩි කළාය. 

මුළු සර්වාංගයාම සිසිල කරමින් සහ ගිණිබත් කරමින් ලියතඹරාවක් ලෙස ඈ ආවේ මා සූරතන්ත්‍රයයට පත් කර ආදරයේ නිම් වළලු පුළුල් කරමින්ය. මගේ මිත්‍රයෙකු නෙළා ගෙන විත් මට දුන් රෝස මල ඒ රැජිණගේ පුදසුනේ මම තැබුවෙමි. යටහත් සේවකයෙකු සේ රැජිණට මම ගරු කළෙමි. ආචාර කළෙමි. 

මගේ ආදර අන්ත-අන්දරය ගැන මම ඇයට කෙඳුරු වෙමි. ඒ ගිනිගත් අභ්‍යන්තරයේ උණුසුම් වාතයෙනි. ඒ කෙඳිරිල්ල ඇය ඉවසුවාය. කාලය පෑල දොරින් පැන ගොස් තිබුණි. අපේ ආදරයට 2019 ජනවාරි 16 වැනිදා අවුරුද්දක් සපිරෙන නිසා එදාට ගමේ යමුද කියා ඇය මගෙන් ඇසුවාය.

ඇයගේ කැමැත්තට අනුව අපි දෙදෙනා කිටි කිටියේ තුරුළුව-තදින් වැළඳ ගෙන තණ්හාවෙන් ගිනිගත් උණුසුම් හුස්ම පොද හුව මාරු කර ගනිමින් දුම්රියේ ගමන් කරද්දී අවට පරිසරය ගැන අපට හා හූවක් නොතිබුණේ ආදර සමාධිය නිසාය. සීතලයි-ගින්නයි වූ ඇය සමග මම පසුදා උදෙන්ම ග්‍රෙගරි උද්‍යානයේ ද පහස ලැබුවේ මහත් ලොබකිනි. ප්‍රමෝදයෙනි. සූරතාන්තයෙනි. හැම අවුරුද්දෙම ග්‍රෙගරි උද්‍යානයට එමු යැයි ඇය යෝජනා කළාය. මම එකඟ වුණෙමි. 

කොහොම හරි යළි නුවරඑළියේ විනෝද චාරිකාවක් යන්න මගේ මිත්‍රයෝ ඊට දවස් දෙකකට පසු තීරණය කළහ. ඒ පෙබරවාරි මාසයේය..! අපි 2019 පෙබරවාරියේ දී දවස් හතරක විනෝද චාරිකාවක් සඳහා නුවරඑළියේ ග්‍රෙගරි උද්‍යානය අසල පිහිටි හෝටලයකට පැමිණියෙමු.  

එදින අපි සෝම පානය කරමින් විනෝද වෙමින් සිටිය දී අලුයම 3.00 ට පමණ ඇයට පපුවේ ලොකු හතියක් එක්ක මීමැස්මොරයට වගේ ආවාය. අපි ඉක්මනට ඇය රැගෙන හාවාඑළිය රෝහලට ආවෙමු. ඒ වන විටත් මගේ රෝස මල් කැකුල පර වී ගොස් තිබුණි. මම තනි වුණෙමි. ඒ පහස-ආදරය-ලෙන්ගතුකකම මට අහිමි විය. මම තනි වුණෙමි. හුදෙකලා වුණෙමි. මට දැනුණේ මුළු විශ්වයම ගිනි ගෙන මගේ හිස මත පතිත වූ සෙයකි. මට ලොකු වේදනාවක්. නමුත් ඇයත් ඒ හා සමානම ගින්නක්. නමුත් ඒ ගින්න ශාරික-අධ්‍යාත්මික වශයෙන් මා පුළුස්සා අළු කළේ නැහැ. ඇයගේ ගින්නට මම ලෝභ කළෙමි. ඒ ගින්න මා සැතපුවා-සැනසුවා-කාන්දමක් සේ ඒ දෙසටම ඇඳ-බැඳ තබා ගත්තාය.

කුමක් කරන්න ද..? ඇයගේ දෙමව්පියන්ට සිද්ධිය දැනුම් දී අවසන් කටයුතු සිදු කළා. දුක්ක-වේදනා-හුදෙකලාවෙන් යුතු මානසික සතර ගාතයෙන් වැටී මා කොළඹ එමින් සිටිය දී ව්‍යාකූලත්වය විසින් මගේ මානසික-ශාරික පාලනය අතට ගනු ලැබුවා. කාලය මට සපෙක්ෂවත් ඊට නිරපෙක්ෂවත් ගත වුණා.

2020 ජනවාරි 19 වැනිදා උදා වුණා. එදාට නුවරඑළියේ යා යුතුම යැයි මගේ අභ්‍යන්තරය පරසක්වළ ගැසුවා. ඇයටත් දුන් පොරොන්දුව නිසා නිසා 2020.ජනවාරි 15වැනිදා රාත්‍රියේ තනිවම මූසල-දුඛිත-පාළු-හුදෙකලාවෙන් අතීත මතක ගොන්නක් මස්තකයේ පැසවද්දී මම ඇයගේ සුන්දර-සීතල ආදරණීය පාරාදීසයට සම වැදුණෙමි.

පසුදා උදේ 6.00 ට පමණ මම ග්‍රෙගරි උද්‍යානයට ගියෙමි.එහි කවුරුත් හිටියේ නැහැ. පුදුම සීතලක්. හරියට ඇයගේ වගේ. ඇය මා ළඟ සිටිනවා වගේ. ඒ වගේම අභ්‍යන්තර ගින්නක්. මේ අතරේ ඒ හිමිදිරියේ උද්‍යානයේ බංකුවක වාඩි වී සිටී සුකුමල කෙල්ලෙක් ආයෙමත් මගේ අභ්‍යන්තරයේ-භාහිරයේ ගිනි අවුළුවා පසුව බලපොරෝතුවක් දී මා සනසනු ලැබුවාය.

ඒ කෙල්ල ඇයමයි. ඇය ඉකි ගසා හඬමින් සිටියාය. ඇයගෙන් මට හුරු පුරුදු ආත්මීය සුවඳක් දැනුණි. ඒ ඇය පාවිච්චි කළ සුවඳ විලවුම් සුවඳය. ඒ පුසුඹ සමග ඇයගේ අධ්‍යාත්මය ද මිශ්‍ර වී තිබුණි. ඒ සුවඳ මට දැනුණේ මගේ රැජිණගේ අභාවයෙන් අවුරුද්දකට පස්සේය. ඒ ඇයම තමයි.  මෙහම වෙන්න පුළුවන්ද..? මම උද්‍යානයේ ඇවිද යළි එද්දී ඇය වගේ සිටී ඇය නොසිටියේය. අතරුදන්ය.එහෙත් ඒ බංකුව ළඟ රෝස මලක් වැටිලා තිබුණි. 

මම ඒ බංකුවේ වාඩි වී කෙටි වේලාවක් කල්පනා කළෙමි. ඒ බංකුවට එහා බංකුවේ මේ කියන ගැහැණු ළමයා වාඩි වී සිටිනවා මම දුටු වෙමි. ඇය මා දෙස දෙනෙත් යොමු කළේ ආදරණීය-සරාගී භාවයෙන්ය. ඒ ඇයමයි. අනතුරුව ඇය හුදෙකලාව ඇවිද ගෙන නොපෙනී ගියාය.පසුව මම ඇයගේ සොහොනට ගොස් ආචාර කර යළි කොළඹ එන්න පිටත් වුණෙමි.

2021 උදා වුණා. COVID-19 රටේ පැතිරිලා. නමුත් මම කොහොම හරි නුවරඑළියේ ආ වෙමි. මම ග්‍රෙගරි උද්‍යානයට ගියත් වසංගතය නිසා කවුරුත් එහි නොසිටියහ. "ඇය ජීවතුන් අතර සිටියා නම් අපි අද අපේ තෙවැනි ආදර සංවත්චාරය සමරනවානේ..ඇය ගෙනාපු ආයුෂ ඉවර වුණා. දුකයි..ඒත් මොනවා කරන්න ද" මම තොරතෝංචියක් නොමැති සිතුවිලි ලෝකයක සිටිමින් ඇවිදිමි. හරියට ලාදුරු රෝගියෙකු සේය. මනසට විනා ශරීරයට කිසිවක් නොදැනේ..!  

ඒ අතරේ මගේ දෙනෙත් නිලංකාර කරමින් එදා වගේම අදත් ඇය ග්‍රෙගරි උද්‍යානයේ එම බංකුවේම වාඩි වී සිටියාය. මම ඊට යාබද  බැංකුවේ වාඩි වී නිසොල්මනේ ඇය දෙස බලා සිටියෙමි. මම මොහොතකට ඒ අත බලා මේ අත බලද්දී ඇය අතුරුදන් වී සිටියාය. නමුත් එදා වගේම ඒ මොහොතේදීත් ඇයගේ ආත්මීය සුවඳ විලවුන් පුසුඹ මගේ සිත-කය අමන්දානන්දයට පත් කළේය.

පසුව මම කොළඹ ගොස් මේ හැම සිද්ධියක්ම මගේ මිත්‍රයෙකු සමග කියා සිටියෙමි. "උඹ ඒ කෙල්ල ගැන හිතන නිසා එහෙම පෙනෙනවා ඇති. උඹ ඒ කෙල්ල අමතක කරලා අලුත් සම්බන්ධයක් ගැන හිතපන්. ඒ කෙල්ල මළා කියලා උඹත් මැරෙන්න ද..? ඔහොම ඉඳලා හරියනවාද " මිනිහා මට කිව්වේය. 

2022 ජනවාරි 16 ද උදා වෙමින් තිබුණි. මා සමග නුවරඑළියේ යන්න එන්න කියා මම මගේ මිත්‍රයාට ආරාධනා කළෙමි. ඔහු එකඟ වුණි. නමුත් "මේ මොන මොන පිස්සුවක් ද..? හැම අවුරුද්දේදීම එදාට නුවරඑළියේ යන්නෙ. පරණ තුවාල ඇන ඇන පාරව ගන්නැතුව අඩියක් ගහලා ගෙදරට වෙලා ඉඳපන්. ඒ කෙල්ල මළා. ඉවරයි. මළ මිනී කරේ තියා ගෙන යනවා ද..? මේ ඇත්ත උඹටත් මටත් හැමෝටමත් පොදුයි නේ වැලලෙන්න හදන්න එපා.." ඔහු සුපුරුදු දෝස්මුරය තිබ්බාය. නමුත් ඌ මා එක්ක නුවරඑළියේ ආවාය. 

2022 ජනවාරි 15 වැනිදා අපි නුවරඑළියට පැමිණියෙමු. මම කියන කතාවේ ඇත්ත-නැත්ත සියසින්ම දැකිය යුතු යැයි කියා මා ද කැටුව ඔහු එදිනම සවස ග්‍රෙගරි උද්‍යානයට පැමිණියේය.එදා නම් ඇය එහි නොසිටියාය. පසුදා අලුයම ද අපි උද්‍යානයට පැමිණියෙමු. 

වට පිට බල බලා අප දෙදෙනා හිරිගඬු පිපෙන සීතලේ නිසොල්මනේ පියවර ඔසවමින් උද්‍යානයේ ඇවිද යද්දී සුපුරුදු පරිදි අය බැංකුවේ අසුන් ගෙන පාලු-හුදෙකලාවේ බලා ගත් අත බලා ගෙන කල්පනා ලෝකයක නිමග්නව සිටිනවා මම දුටිමි. මම මගේ මිතුරාට අයව පෙන් වුවෙමි. මිතුරාගේත් මගේත් සියොළඟ කිළිපොලා ගියේය. අපි දෙනනා ඇය පසු කර ගෙන ඉදිරියටම ගියෙමු. ඒ අමායා අතුකෝරාලම බව මිත්‍රයා ද තහවුරු කළේය. ඔහු මේ කිසිවක් ඇදගගත නොහැකිව භීතියෙන් ත්‍රස්තව  සුදුමැලි වී සිටියේය.  

අපි ආපසු හැරී නැවතත් ඇය දෙසට පැමිණියෙමු. අප දෙදෙනාම මවිතයට පත් කරමින් එදා වගේම අදත් ඇය එම ස්ථානයෙන් අතුරුදන් වී සිටියාය. එතෙකදු රෝසමල බංකුව මත තිබුණි. අපි එදිනම දහවල් කොළඹ පැමිණියෙමු. ඇය මා හැර ගොස් තෙවසරක් සපිරෙන දවසේ මම භික්ෂුණීන් වහන්සේලා පස් නමක් වඩම්මවා දහවල් දානය පිළි ගන්වා ඇයට පිං අනුමෝදන් කළෙමි.

මානසික හැලහැප්පීම්-ව්‍යාකූලතා-අවිනිශ්චිත මධ්‍යයේ කාලය ගෙවී ගියේය. 2023 ජනවාරි 16 වෙනිදා ද මම නුවරඑළියට පැමිණියෙමි. නමුත් වෙනදාට වඩා ප්‍රමාද වී තිබිණි. එහෙත් එදා ඇය උද්‍යානයේ නොසිටියාය. ඇය වෙනුවෙන් දානයක් දී ඇයට පිං අනුමෝදන් කළ නිසා එසේ සිදු වන්නට ඇතැයි මම සිතුවෙමි. ඇය වෙනදාට වාඩි වී සිටින බැංකුව අසලට මම ගියෙමි. මහා පුදුමයකි. මම තුෂ්නිම්භූත වූයෙමි. මගේ දෑස මටම අදහාගත නොහැකි විය. අනිර්වචනීයි. වෙනදා වගේම අදත් ඒ රෝස මල    බැංකුව මත තිබිණ. ඒ කියන්නෙ ඇය අදත් ඇවිල්ලා. මේ ගැන තවදුරටත් භාෂාවකින් කතා කිරීම ව්‍යාජයක් යැයි හඟිමි.

කාලය තාලයට ගෙවී ගියා. 2024 ජනවාරි 16 වැනිදා උදා වුණා. මේ සියල්ල අමතක කරන්නැයි ද, ආයෙමත් කවදාවත් නුවරඑළියේ පස්වත් පා ගන්න එපා යැයි ද මිත්‍රයා මට කිව්වා. එහෙත් එදාත් මම එදා නුවරඑළියේ ගියෙමි. අලුයම 5.50 ට විතර මම උද්‍යානයට ආවෙමි. එහෙත් එදින ඇය ආවේ නැහැ. කොහොම හරි 6.15 ට විතර ඈතින් එනවා මම දුටු වෙමි. මම එදා වාඩි වී සිටියේ ඇය වෙනදාට වාඩි සිටින බැංකුවේය. ඇය පැමිණ මට පිටුපස තිබෙන බැංකුවේ වාඩි වී සිටියාය. මම "EAR PHONE" ඇබ ගසා ගෙන ගීතයක් රස විඳිමින් සිටියෙමි.  සුළු වේලාවකින් ඇය මැකිලා යන්න ගියාය. ඇය මැකිලා යන්න ගියාට පසු මම ඇය සිටී බැංකුව අසලට ගියෙමි. රෝස මල එහි තිබුණි.එයා ගියාට පස්සෙ මම එයා හිටපු බංකුව උඩට ගියා වෙනදා වගේම බංකුව උඩ රෝස මලක්.

මේ කිසිවක් මගේ මානසික මානයන්ට ගෝචර නොවේ. ඇය කවුද..? මගේ රෝස මල ද..? නොඑසේ නම් ඇය වගේ තවත් තරුණියක් ද..? හොල්මනක්ද..? ආත්මයක් ද..? ඇය මගේ රැජිණගේ ආත්මය ද..? සෑම අවුරුද්දකම ඇය ජනවාරි 16 වැනිදා උද්‍යානයට එන්නේ ඒ නිසා ද..? ව්‍යාකූලත්වය විසින් මා නිහඬ කරනු ලැබීය. ඒ නිහැඬියාවෙන්ම මම කර බා ගතිමි.

පසුව මගේ දෙමාපියන් ගෙන ආ විවාහ යෝජනාවකට එකඟ වීමට මට සිදු වූ අතර ඒ අවුරුද්දේම මැයි මාසයේ දී මම විවාහ පත් වීමි. මේ අතරේ 2025 ජනවාරි 16 ලං වෙද්දී, විවේකයක් ගැනීම සඳහා නුවරඑළියේ යන්න කැමති දැයි මම මගේ බිරිඳ ගෙන් විමසුවෙමි. ඒ වන විටත් ගර්භනීව සිටී ඇය ඊට කැමති වූවාය.   

ඒ වන විටත් ඇය ගැන විස්තර මම මගේ බිරිඳට පවසා තිබුණෙමි. එහෙත් හැම අවුරුද්දේදීම උද්‍යානයේ දකින තරුණිය ගැන මම බිරිඳට කියා නොතිබුණෙමි. අපි 2025 ජනවාරි 15 වැනිදා අපේ වාහනයෙන් නුවරඑළියට පැමිණියෙමු. පසුදා උදෑසනම අපි ග්‍රෙගරි උද්‍යානයට ගියෙමු. 

එදා මගේ බිරිඳ අසුන් ගමු යැයි මට යෝජනා කළේ, ඒ තරුණිය හැමදාම වාඩි ගන්නා බැංකුවේය. ඇයගේ යෝජනාව නිසා මම ද ඊට කැමති වීමි. එදා ඇය පෙනෙන්න සිටියේ නැහැ. මේ අතරේ විනාඩි දහයකට විතර පස්සේ බිරිඳ මහා පුදුම කතාවක් කිව්වාය. 

"මේ...මේ පැත්තට ආපු ලස්සන ගැහැණු ළමයෙක් අපිව දැකලා ආපසු හැරිලා වේගයෙන් යන්න ගියා නේ.." දෙලොවක් අතර අතරමං මම ද ඒ දෙස බැලීමි. එහෙත් ඒ පැත්තේ කිසිම තරුණියක් සිටියේ නැත. පස්සෙ මම ඒ පැත්තට ගියෙමි. රෝස මල මෙවර උද්‍යානයේ වැටී තිබෙනු මම දුටු වෙමි. මගේ රෝස මලේ අධ්‍යාත්මික සුවඳ විලවුම් පුසුඹ මගේ නාසයට දනී මස්තකයට වැදී ඇට මිදුළු අස්සේ කා ගෙන යනවා මට දැනුණි.

Advertiesment